අපි යමක් පිළිබඳව සිතා බලා තීරණ ගන්නේ කෙසේද?

අපි ජිවිත කාලයේදී නිරන්තරයෙන්ම තීරණ ගන්නවා. මේවා බොහෝ විට යම් කාරණාවක් පිළිබඳව තම තම නැණ පමණින් සිතා බලා ගන්නා තීරණ. එහෙම තීරණයක් ගන්න බලපාන සාධක මොනවාද? 

අපි අද කතා කරන්නේ ඒ ගැන. මම ජපන් උපමා කතාවකින් මේ මාතෘකාවට අවතීර්ණ වෙන්නම්.

එක්තරා දිනයක, ජපානයේ ඇති විශාල විලක ඉවුරේදී ඊට පෙර කිසිදා මුණගැසී නැති පුද්ගලයන් තිදෙනෙක් හමුවුනා. මේ එක් කෙනෙක් සෑහෙන ඈතක ඉඳන් ගමනක් යාමට පැමිණි නූගත් දර කපන්නෙක්. අනෙකා නගර අතර සංචාරය කරමින් වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයෙක්. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක්. තුන්වැන්නා ඒ විල අසල තියෙන විශාල ගල් පර්වතයක් උඩ වාසය කරන පූජකයෙක්. අපි ඔහුට බමුණෙක් කියල කියමු. මේ බමුණා පරිසරය පිළිබඳව එහෙම බොහෝ දේ දැන හඳුනන නැණවත් පුද්ගලයෙක්. හැබැයි මේ බමුණා ඉතා තදින් විශ්වාස කරනවා ඔහු වාසය කරන ගල්තලාවට අධිපති දෙවිකෙනෙක් සිටින බව. ඔහු මෙම දෙවියන් වෙනුවෙන් ගල් පර්වතය උඩ දෙවොලක් තනා නිතිපතා යාඥා කරනවා.

මේ තුන්දෙනාට අවශ්‍ය වෙලා තිබෙනවා මේ පරක් තෙරක් නොපෙනෙන විශාල විලෙන් එගොඩට යන්න. මේ විල්තෙරේ තියෙන තොටුපලක පහුරු කුලියට දෙන පුද්ගලයෙක් ඉන්නවා. ඔබ දන්නවා පහුරක් කියන්නේ විශාල ලී කොටන් ප්‍රමාණයක් එකට බැඳ සාදාගන්නා යාත්‍රාවකට. ඔබට පුළුවන් මුදලක් ගෙවා මෙම පහුරක් කුලියට ගන්න. ඔබ විලෙන් එගොඩ වූ පසු එම එගොඩ තොටුපළේ සිටින අයෙකුට මෙම පහුර බාර දුන්නම ඔබට අර ගෙවූ මුදලින් කොටසක් ලැබෙනවා. අද විදියට කියනවනම් මේක ඩිපොසිට් එකක් තියා ගන්නවා වගේ වැඩක්. ඉතින් මේ තුන්දෙනා කතාවෙනව අපි එක එක්කෙනා පහුර බැගින් කුලියට ගන්නවාට වඩා ලාබයි නේද, තුන්දෙනාම මුදල් යොදා එක පහුරක් ගන්න එක කියල.

මේ විදියට මොවුන් පහුරක් අරගෙන දැන් එය පැදගෙන යනවා. මොවුන් විලේ මැද්දට ආසන්න වෙන කොට ඔවුන්ට පෙනෙනවා ඉදිරියෙන් විශාල දිය සුළියක් ඇතිවෙනවා. මෙය ඉතා බියකරු දර්ශණයක්.

මෙය දකින දර කපන්නා ඉතාමත්ම බියට පත්වෙනවා. මොකද ඔහු මෙවැනි සංසිද්ධියක් ගැන මීට කලින් අසා තිබුනේ නැහැ. ඔහු හිතනවා කරන්න තියෙන හොඳම දේ දියට පැන නැවතත් මෙගොඩට පිහිනා යෑම කියල. මෙහෙම හිතල මිනිහ ගඟට පනිනවා. ටික දුරක් පීනන කොට තමයි මිනිහට තේරෙන්නේ ඒ වෙනකොට ඔවුන් ගොඩබිමින් බොහෝ ඈතට ඇවිත් තියෙන බව. ඒ වගේම ඔහු හොඳ පිහිනුම් කාරයෙකුත් නෙවෙයි. ඒ මදිවට දර කපන්නා සන්තකව තියෙන ලොකුම වස්තුව වෙන යකඩ පොරෝවත් මිනිහ ඉනේ ගහගෙන. මේ නිසා වැඩි වෙලාවක් යන්න කලින් පිහිනගන්න බැරිව දර කපන්නා දියේ ගිලිලා මැරෙනවා.

අර වෙළෙන්දා මේ දිය සුළි ගැන අසා තිබෙනවා. ඔහු මෙහෙම හිතනවා. "මේ සුළියට පහුර අසු උනහම මට අල්ලා ගන්නවත් හරියට තැනක් නැහැ. පහුර පෙරළුනොත් මම අනිවාර්යයෙන්ම මිය යනවා. මේ නිසා කල යුතු හොඳම දේ තමයි පහුරෙන් ලී කොටයක් වෙන් කරගෙන එය බදාගෙන පිහිනීම. දියසුළිය පහව ගියාට පස්සේ මට ලී කොටය සමගම ගොඩ බිමට පාවී යන්න පුළුවන්".

මෙහෙම හිතන වෙළෙන්දා තමන්ගේ ඉනේ තිබුන පිහිය අරන් ලී කොටයක් පහුරෙන් කපා වෙන්කරගන්නවා. ඊට පස්සේ මෙයම නුඹත් කරපන් කියල පිහිය බමුණා දෙසට විසිකර ඔහු ලී කොටය බදාගෙන පහුරෙන් ඉවත් වෙනවා.

නමුත් වෙළෙන්දාට යම් දෙයක් වරදිනවා. මේ වෙන විටත් පහුර දිය සුලියට හසුවී තිබුණා. මෙම දියසුළි වල ස්වභාවය තමයි එහි පිටතට ආසන්නයේ ජලය කැරකෙන වේගය ඉතා අධික වීම. පහුරේ ඇති බර නිසා එය කැරකෙන වේගය යම් තරමකට සීමා වී තිබුනත්, වෙළෙන්දා කොටයත් එක්ක ඉවත් වෙනවත් එක්කම ඔහු කැරකෙන වේගය ඉතාමත්ම වැඩි වුනා. අන්තිමේදී වේගය වැඩිකම නිසාම වෙළෙන්දා අතින් කොටය ගිලිහී යනවා. ප්‍රතිඵලය වුනේ ඔහුත් දියේ ගිලී මිය යාමයි.

අර බමුණා මේ දිය සුළිය හැසිරෙන විදිය ගැන හොඳට දන්නවා. මොකද ඔහු මේ ප්‍රදේශයේම කෙනෙක්. ඔහුට තේරුම් යනවා මේ වගේ අවස්ථාවක කරන්න ඕනේ හොඳම දේ තමයි පහුරේ දිගාවෙලා ඒක හොඳින් බදාගන්න එක කියල. එහෙම ඉන්න ගමන් පහුරෙන් එක ලී කොටයක් කපා වෙන් වෙන නොවෙන ප්‍රමාණයට තබා ගන්නවා. පහුර දිය සුළියේ මැද්දට, ඒ කියන්නේ සුළියේ ඇස කිට්ටුවට එන කොට ලී කොටයත් එක්ක පහුරෙන් වෙන් වෙනවා. එතකොට ඔහුව ලී කොටයත් එක්කම සුළියේ ඇස තුලට ඇදගෙන දිය යටින් ඈතට රැගෙන යනවා. ඔහු ලී කොටය බදාගෙන ඉන්න නිසා සුළියට එපිටින් නැවතත් ඔහුව ජලයෙන් උඩට තල්ලු වෙනවා. කලයුත්තේ විනාඩියක් පමණ තදින් හුස්මයක් අල්ලා ගෙන ඉඳීමයි.

දැන් මේ විදියට, කරන්න ඕනේ දේ තේරුම් ගත්තට, බමුණා ඊට පස්සේ මෙහෙම හිතනවා. "මම දැන් අවුරුදු 40 ක් විතර මෙම ගල් කුලට අධිපති දෙවියන්ට පුද පූජා, යාඥා කරනවා. ඒ ගැන ඔහු ඇත්තේ ඉතා සතුටෙන්. මේ නිසා ඔහු අද මේ විපතට පත්ව ඇති මාව අනිවාර්යයෙන්ම ඔහු බේරාගනු ඇත".

මෙහෙම හිතන බමුණා පහුර මැද ඉඳගෙන මහා හඬින් ගල් දෙවියන්ට යාඥා කරන්න පටන් ගන්නවා. දැන් පහුර ක්‍රමයෙන් සුළියේ ඇස දිහාවට ඇදිල ගිහින් එකවරම පහුරත් සමගම බමුණාව දිය තුලට ඇදගන්නවා. ඔහු කිසිඳු සූදානමකින් නොසිටිය නිසා ක්‍ෂණයකින් දියේ ගිලී මිය යනවා.

මේ කතාව අහගෙන ඉන්න ඔබට වැටහෙනවද කෙනෙක්ට යම් කාරණයක් පිළිබඳව තීරණයක් ගන්න කාරණා තුනක් බලපාන බව. ඒකෙන් දෙකක් බලපානවා අපි යමක් තේරුම් ගන්නේ කොහොමද කියන එකට. තුන්වෙනි කාරණය බලපානවා අපි යමක් අවබෝධ කරගන්නේ කොහොමද කියන එකට.

දැන් ඔබට පැනයක් මතුවෙනවා තේරුම්ගැනීමයි අවබෝධ කරගැනීමයි කියන්නේ දෙකක්ද කියල. ඔව් ඒ දෙකක්. යමක් තේරුම් ගන්නවා කියන්නේ ඒ කාරණයෙහි ඇති සැටිය අපේ ඥාන පරාසයන් තුල අපි වටහා ගන්නා ආකාරයයි. අවබෝධ කරගන්නවා කියන්නේ ඒ තේරුම් ගත්ත දේ අපේ මනස විසින් පිළිගන්නා ආකාරයයි. ඉංගිරිසියෙන් අපි understanding සහ realizing යනුවෙන් මේ වචන දෙක වෙන්ව හඳුනාගන්නවා.

යමක් තේරුම් ගැනීමට බලපාන පළවෙනි කාරණය තමයි අපේ තොරතුරු සහ දැනුම් සම්භාරය. ඉංග්‍රීසියෙන් කියනවා නම් information and knowledge base. අපි ඉපදුනු දා ඉඳන් මේ මොහොත වෙනකල් තොරතුරු සහ දැනුම එක් රැස් කරනවා. යමෙක්ට තමන්ගේ විශ්වාසය මත කියන්න පුළුවන් මේ දැනුම පෙර ආත්ම වල සිට පැමිණෙනවා හෝ දෙවියන් විසින් ලබාදෙනවා කියාත්. එය තම තමන්ගේ විශ්වාසයයි. නමුත් අපිට හරියටම සාක්ෂාත් වෙන දේ තමයි උපන්දා ඉඳන් අපි තොරතුරු සහ දැනුම එක්රැස් කරන බව.

දෙවෙනි කරණය තමයි අපිට ඇති විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ අප තුල රැස්කරගෙන ඇති තොරතුරු සහ දැනුම ආශ්‍රයෙන් අපි ලබන නව අත්දැකීමක් පැහැදිලි කරගැනීමට උත්සහ කිරීම. මේ විශ්ලේෂණ හැකියාවත් යම් ප්‍රමාණයකට දැනුම සමග බැඳිලා තියෙනවා. මේ දෙක මත තමයි අපි යමක් තේරුම්ගන්නේ. ඔබ දැන් අර ජපන් උපමා කතාවේ චරිත එක්ක මේ කාරණා සසඳන්න.


www.000webhost.com